සමාජ සංස්ථා

GAQ -Sociology Notes

සමාජ ව්‍යුහය පිලිබඳව අධ්‍යනය කරනවිට සමාජ විද්‍යාඥයන් මෙන්ම සමාජ මානව විද්‍යාඥයින් එහි විවිධ ස්වරූපයන් පවතින බව හඳුනාගෙන තිබේ. එමෙන්ම ඔවුන් සමාජ ව්‍යුහය ගොඩනැගෙන්නේ කෙසේද ? යන්න පිලිබඳව සාකච්ඡා කර තිබේ. සමාජ විද්‍යාත්මක විග්‍රහයන්ට අනුව සමාජ ව්‍යුහය නිර්මාණයවී ඇත්තේ

1. පුද්ගලාන්තර සම්බන්ධතා
2. සමූහ සම්බන්ධතා
3. සංස්ථාගත සම්බන්ධතා


සමාජ විද්‍යාවේදී සමාජ ව්‍යුහය තුළ සමාජ සංස්ථා ප්‍රමුඛ සාධකයක් ලෙස සලකනු ලැබේ. හේතුව සමස්ථ සමාජය නිර්මාණයවී ඇත්තේ සංස්ථා එකතුවීම හේතුකොටගෙනය. එබැවින් එකී සමාජ සංස්ථා වල මූලික ලක්ෂණ පිලිබඳවත් ඒවායෙහි සමාජීය කාර්යය භාරය පිලිබඳවත් සමාජ හා සමාජ මානව විද්‍යාඥයන් අධ්‍යනය කොට තිබේ.

සමාජ සංස්ථාවක් යනුවෙන් හඳුන්වන්නේ " පුද්ගලයන්ගේ අරමුණු සාමුහික ක්‍රියාමාර්ග යටතේ විධිමත්ව ඉටුකරගැනීම සඳහා සැකසී ඇති සංවිධාන විශේෂයකි." වශයෙනි.

ඉහත නිර්වචනයට අනුව සමාජ සංස්ථා සමාජ ව්‍යුහයේ පැවැත්ම සඳහා නිශ්චිත කාර්යය භාරයක් ඉටුකරන බව පැහැදිලිය. සමාජ සංස්ථාවන්ගේ ඇති වැදගත්කම පිලිබඳව සම්නර් සහ කෙලර් යන සමාජ විද්‍යාඥයින් දෙදෙනා මෙසේ සඳහන්කර තිබේ.

" ජීවියකුගේ ශරීරයේ පැවැත්මට සම්, මස්, ඇටකටු, නහර ආදී අංගෝපාංග යම් මෙහෙවරක් ඉටුකරයිද එබඳුම මෙහෙවරක් සමාජ දේහයේ/ව්‍යුහයේ පැවැත්ම සඳහා සමාජ සංස්ථා විසින් ඉටුකරනු ලබයි. "

මෙම ප්‍රකාශය තුලින්ද පැහැදිලි වන්නේ සමාජ ව්‍යුහයේ පැවැත්මට එහි ක්‍රියාකාරිත්වය සමාජ සංස්ථා මගින් සැපයෙන සාමුහික කාර්යය භාරය අතිශයින්ම වැදගත් බවයි. එබැවින් සමස්ථ සමාජය පිලිබඳව පුළුල් අධ්‍යනයක නිරතවන්නාවූ සමාජ විද්‍යාඥයින් එකී සමාජය හා බැඳී පවතින්නාවූ සමාජයේ පැවැත්මට ක්‍රියාකාරී මෙහෙවරක් ඉටුකරන්නවූ සමාජයේ ජීවත්වන සෑම පුද්ගලයෙකු විසින්ම අනිවාර්යයෙන්ම සාමාජිකත්වය දරනනාවූ සමාජ සංස්ථාවන් පිලිබඳව අධ්‍යනය කිරීම වැදගත්වේ.

සමාජ විද්‍යාඥයින් පෙන්වාදෙන ආකාරයට සමාජ සංස්ථාවන් සතු මූලික ලක්ෂණ කිහිපයක් වේ. එනම්

1. අනන්‍යතාවයක් තිබීම
2. පොදු බව
3. සාමූහිකත්වය
4. දිගුකාලීන බව
5. සංස්ථා වෙනස්වීමෙන් එය සෙසු සංස්ථා වලට මෙන්ම සමස්ථ සමාජයටම දැනෙන සුළු බව

මේ ආකාරයට සමාජ සංස්ථා තුළ ඒවාටම ආවේණිකවූ ලක්ෂයන් ගනනාවකින් යුක්තවන්නේ යැයි සඳහන් කල හැකිය. පුද්ගලයන් සමාජය තුළ විවිධාකාර සමාජ සම්බන්ධතාවයන් පවත්වනු ලබයි. එකී සමාජ සම්බන්ධතා හැඩගන්වනු ලබන්නේ සමාජ සංස්ථා මගිනි. එමනිසාම සමාජ සංස්ථාවලට සුවිශේෂවූ කාර්ය භාරයන් පැවරී ඇතිබව සඳහන් කල හැකිය. එකී කාර්ය භාරයන් සාරාංශ කොට දැක්වුවහොත්

1. පවුල - එහි කාර්යය භාරය ලෙස පුද්ගලයා පෝෂණය කිරීම සහ ඔවුනට රැකවරණය ලබාදීම.

2. ආර්ථිකය - සමාජයට අවශ්‍ය භාන්ඩ හා සේවා නිෂ්පාදනය.

3. ආගමික සංස්ථාව - සමාජ හැසිරීම් වලට සදාචාරාත්මක වටිනාකමක් ලබාදීම.

4. දේශපාලනය - සමාජය විධිමත්ව පාලනය කිරීම.

5. අධ්‍යාපනය - සමාජ සංවර්ධනයට අවශ්‍ය ඉලක්ක ලබාදීම. එනම් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම.

6. නීතිය - සෙසු සංස්ථා විධිමත්ව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මූලධර්ම සම්පාදනය කිරීම, මෙම සමාජ සංස්ථාවන්ට අමතරව විවාහය, ඥාතීත්වය පවතී. ඇතැම් අය මේවා උප සමාජ සංස්ථා ලෙස හදුන්වාදෙන අතර ඇතැම් අය ප්‍රමුඛ සමාජ සංස්ථා ලෙසද විග්‍රහ කරනු ලැබේ.

කෙසේ වෙතත් මෙම සියළු සංස්ථාවන් සමාජ දේහය පවත්වාගැනීම සඳහා සුවිශේෂවූ කාර්යය භාරය පද්ධතියක් පවරාගෙන එම කාර්යය භාරය ඉටුකරමින් සිටින බව සඳහන් කලහැකිය.

තවත් ලිපි ලබා ගැනීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න !