ජපන් රෝස වගාව
අද අපි ගෙවතු වගාව තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජපන් රෝස වගාවක් සාර්ථකව ගෙවත්ත තුළ පවත්වාගෙන යන්නෙ කොහොමද කියලා. මල් වවන ගොඩක් අය බොහෝවිට දන්නවා සමහර ශාකවල කාල පරාසයක් මෙන්ම බොහෝවිට නිශ්චිත වාර ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඔයා ජපන් රෝස වගාවක් ගෙවත්ත තුළ කලොත් ඔයාට විසිතුරු මල් හැමදාම බලන්න පුළුවන්. ජපන් රෝස වර්ණ කිහිපයකින් සහ විවිධ හැඩ වලින් යුත් මල් ප්‍රභේද තියෙනවා. ගොඩක් වෙලාවට මේවා එකට සිටුවීමෙන් එකවර විවිධ වර්ණයෙන්ගෙන් යුත් මල් දැකගන්නටත් පුළුවන්.
හොඳයි අපි බලමු ජපන් රෝස කොහොමද හිටවන්නෙ කියලා. ජපන් රෝස ශාකය දඬු හෙවත් ඉති මඟින් පහසුවෙන් පස තුළ සිටුවාගත හැකියි. වගාව සඳහා පස තෝරා ගැනීමේදී සිහින් වැලි සහිත හොඳින් ජලය අවශෝෂණය වන පසක් නම් වඩාත් සුදුසුයි. එමෙන්ම වගාව සඳහා තෝරාගන්නා බිම් ප්‍රදේශය හොඳින් හිරු එලියට නිරාවරණය වන ප්‍රදේශයක් නම් වඩාත් සුදුසුයි. සාමාන්‍ය පස තුළ සිටුවීමෙන් සාමාන්‍ය මල් අස්වැන්නක් ලැබේ. නමුත් කෘත්‍රිමව සකස් කරන ලද මාධ්‍යක් තුළ නිසියාකාරව වගාකිරීම මගින් ඉතා ඉහළ මල් අස්වැන්නක් ලබාගත හැකිවේ.
හොඳයි අපි බලමු කොහොමද ඒ කෘත්‍රිම වගා මාධ්‍ය හෙවත් උපස්තරය හදාගන්නේ කියලා. මෙහිදී සාමාන්‍ය සිහින් වැලි සහිත පසත්, කොහුබත් සහ කොම්පෝස්ට් සම අනුපාත වලින් කලවම් කර තෝරාගත් බිම්කඩ තුල හෝ තෝරාගත් භාජනය තුළ අවම වශයෙන් අඟල් 2 1/2 ක් පමණ උසකට වන්නට අතුරාගත යුතුය. පසුව අවශ්‍යතාවය මත තෝරාගත් දඬු එම උපස්තරය මත සිටුවාගැනීම කල යුතුය. මෙහි කොහුබත් අඩංගු නිසා උපස්තරය මතට ජලය යෙදීම නිතර නිතර කිරීම අවශ්‍ය නොවේ. එනම් ජලය සැපයීම දින දෙකකට වරක් කිරීම ප්‍රමාණවත් වේ.
දඬු ප්‍රරෝහනයවී සති දෙක තුනක් පමණ ගිය පසු හොඳ මල් අස්වැන්නක් ලබාගැනීම සඳහා පොටෑසියම් අධික K-40 හෝ K-44 අවශ්‍ය ප්‍රමාණයට ජලයේ දියකර ජපන් රෝස පත්‍ර වලට ස්ප්‍රේ කිරීම සිදුකල හැකිය. මෙම අධි අවශෝෂක රසායනික ජලයේ දිය කිරීමේදී පොහොර අංශු ඉතිරි නොවනසේ හොඳින් දිය කිරීමට වග බලාගන්න. එමෙන්ම ජල ලීටරයක දිය කරන පොහොර ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වන්න. එයට හේතුව පොහොර සාන්ද්‍රනය වැඩි උනොත් ශාක පත්‍ර හානි වීම සිදුවිය හැකි නිසයි.
ජපන් රෝස ශාකය තවදුරටත් පරිණත වීමෙන් පසු එනම් අඟල් 05 කට වඩා දික්වූ පසු පහලට එල්ලා වැටීමට පටන් ගනී. එම අවස්තාවලදී මල් අස්වැන්න අඩුවීම දැකිය හැකිය. මේ අවස්තාවේදී ජපන් රෝස කප්පාදු කිරීම සිදුකල හැකිය. කප්පාදු කල පසු නැවත පත්‍ර මතට දියරමය පොටෑසියම් අධික පොහොර ස්ප්‍රේ කල හැකිය. එමඟින් නැවත නැවත සරු මල් අස්වැන්නක් දිනපතා ලබාගත හැකිය. එමෙන්ම ජපන් රෝස පැල කප්පාදු කිරීමෙන් පසු හොඳින් හිරු එලිය පැල මතට පතිත වීමට සැලැස්වීමෙන් සාර්ථක මෙන්ම ඉක්මන් විසිතුරු මල් වගාවක් ලබාගත හැකිය.
Article: Japan Rosa Wagawa
©YouTube.com/GewathuWagawa
