ගොටුකොළ වගාව

අද අපි ගෙවතු වගාව තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙවත්ත තුළ ගොටුකොළ වගාවක් සාර්ථකව ආරම්භ කරන්නේ කොහොමද කියලා. සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් මේකට ගොඩක් ඉඩ ඕනනෙ කියලා. ඇත්තෙන්ම නැහැ. ඒ කියන්නෙ ගොටුකොළ වගාව ඉතා සුළු බිම් තීරුවක උනත් ඉතාමත් ලේසියෙන් කරන්න පුළුවන්.


මේ වීඩියෝ එකේ ඇත්තේ එවැනි කුඩා බිම් තීරුවක ගොටුකොල සාර්ථකව වවා ඇති ආකාරයයි. හොඳයි අපි බලමු ගොටුකොල වගාවක් ආරම්භ කරන්නේ කොහොමද කියලා. වගාව සඳහා තෝරාගන්නා පස සිහින් වැලි සහිත එමෙන්ම තෙතමනය සහිත පසක් නම් වඩාත් සුදුසුයි. වගාව ආරම්භ කිරීමට සති දෙකකට පමණ පෙර පස හොඳින් පෙරලා ගන්න. ඉන්පසු එම පස් ස්ථරය මත පිදුරු සහ දහයියා පොතු අතුරන්න. මෙය අවම වශයෙන් ස්තර තුනකටවත් අතුරන්න. ඉන්පසු එම ස්ථරය මත ගිනි අවුලන්න. දහයියා සහ පිදුරු හොඳින් ඇවිලී ගිය පසු එම ස්තර ඉවත්කර පස මතට හොඳින් පිරිසිදු ජලය එකතු කරන්න. මේ පියවර මඟින් වල් පැලෑටිබීජ වගාව තුළ ව්‍යාප්තවීම අවමවේ. ඉන්පසු සති දෙකකට පමණ පසු පස් ස්ථරය මත කොහුබත් අතුරා පස හොඳින් පෙරලා ඒමත කැප්ටාන් දිලීර නාශකය එක්කල ජලය යොදන්න. ඉන් දින දෙකකට පමණ පසුව පැල සිටුවීම සිදුකල හැකියි. ගොටුකොළ මුල් සිටුවීම මඟින් සාර්ථකව පැල ලබාගත හැක. ආරම්භයේදී මුල් කිහිපයක් සිටුවීම ප්‍රමාණවත්. ඒවගේම වර්ග කිහිපයක ගොටුකොල මුල්  එකවර සිටුවීම සාර්ථක ක්‍රමයක්.ඒකියන්නෙ ඔයාල දැකලා ඇති විවිධ පත්‍ර වර්ග ප්‍රමාණ සහිත ගොටුකොළ වර්ග. මෙම ගොටුකොළ මුල් එකම වගා බිමක සිටුවීම සුදුසුයි. වගාව ආරම්භ කර පත්‍ර වර්ධනය ආරම්භ වන කාලයේදී එනම් මුල් සිටුවා සතියකට පමණ පසු වගාවට කොම්පෝස්ට් පොහොර යෙදීම සුදුසුයි. පසු කලෙක එනම් වගාව හොඳින් ව්‍යාප්තවූ පසු පත්‍ර කහපාට වීම දැකිය හැකියි. මෙය නයිට්‍රජන් ඌනතාවයක් නිසා සිදුවේ. ක්‍රමානුකූලව යූරියා පොහොර යෙදීම සිදුකල හැකිය. පොහොර නැවත යෙදීම සති තුනකට වරක් සිදුකිරීම සුදුසුයි. වගාවට ජලය යොදනවිට එය උදේ කාලයේදී හෝ ඉර අවරට ගියපසු සිදුකිරීම වඩාත් සුදුසුයි. එමෙන්ම දැඩි හිරු රෂ්මියක් ඇති කාලවල වගා පරිසරය පොල් අතු කැබැල්ලකින් ආවරණය කර තැබීම වඩාත් සුදුසුයි. එමඟින් පත්‍ර කහපාට වීම පත්‍ර මැලවීම පැල මියයාම අවමකල හැකිය. ගොටුකොළ වගාවේ රෝග පිළිබඳව සාකච්ඡා කිරීමේදී දිලීර රෝග සහ පත්‍ර ගොළුබෙල්ලන් මඟින් ආහාරයට ගැනීම බහුලව විස්තර කල හැකියි. වගාව තුළ දිලීර රෝග ඇතිවිට ගොටුකොළ මුල් කුණුවීම සහා පත්‍ර වල කළු සහ වෙනත් පුල්ලි දැකිය හැක. මේසඳහා කැප්ටාන් වැනි දිලීර නාශකයක් වගාවට සහා පසට දියර විදින යන්ත්‍රයක් ආධාරයෙන් එක්කල හැක. ගොටුකොළ පත්‍ර ගොලුබෙල්ලන් විසින් ආහාරයට ගැනීම වැලැක්වීම සඳහා බොරු උගුල් ඇටවීම සිදුකල හැක. එනම් සිදුරු රහිත පොල්කටුවක් පස මට්ටමට වන්නට ගිල්වා එයට සාන්ද්‍ර ලුණු ජලය එකතුකර තැබිය හැක. පත්‍ර ආහාරයට ගැනීමට පැමිණෙන ගොළුබෙල්ලන් බොහෝවිට මෙම ලුණු ජලය සහිත පොල්කටුවට වැටී මියයාම සිදුවේ. එමඟින් ගොලුබෙලි හානි අවමකල හැකිය. මේවිදිහට ගොටුකොළ වැව්වොත් ඔයාට ඉක්මනින් හොඳ ගොටුකොළ ඵලදාවක් ගන්න පුලුවන්. ඒ වගේම වැඩි ඉඩකඩක් භාවිතාකර ගොටුකොළ වගාව මහා පරිමාණයෙන් ස්වයං රැකියාවක් විදියට ආරම්භ කරලා හොඳ අමතර ආදායමක් උපයාගන්නත් පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට යම් විදිහකින් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතිං යාළුවනෙ මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් උනා කියලා හිතෙනවානම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒවගේම බෙල් අයිකන් එක ක්ලික් කලොත් අපේ මීලඟ වීඩියෝ එක දාපුගමන්ම ඔයාට දැනගන්නත් පුළුවන්.

Article: Gotukola Wagawa
©YouTube.com/GewathuWagawa