රෝස මල් වගාව
අද අපි ගෙවතු වගාව තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාර්ථක රෝස මල් වගාවක් කොහොමද ඔබේ ගෙවත්තේ ආරම්භ කරන්නෙ සහ පවත්වාගෙන යන්නෙ කියලා. හොඳයි අපි බලමු රෝස මල් වැවීම සඳහා මොනවගේ කාරනාද අපිට වැදගත් වෙන්නේ කියලා.
දේශගුණය
රෝස ශාකය සීත දේශගුණයක් සහිත ප්‍රදේශවල ඉතා පහසුවෙන් වගාකල හැකියි. නමුත් ශ්‍රීලංකාවේ එවැනි ශීත දේශගුණයක් නොමැති නිසා දැඩි සෙවණ සහිත ස්ථාන වල වගා කලහැකියි.
පස තෝරා ගැනීම
රෝස මල් වගාවක් ආරම්භ කිරීම සඳහා නිවැරැදි පසක් තෝරාගැනීමේදී එනම් ජලය හොඳින් උරාගන්නා එහෙත් ජලය වැඩි වේලාවක් රඳා නොපවතින පස් තෝරා ගැනීම ඉතා සුදුසුයි. පස තෝරාගත් පසුව රෝස දඬු සිටුවීමට සතියකට පමණ පෙර පසට සුදුසු දිලීර නාශක දියරයක් එක් කිරීම අනිවාර්යයෙන් කල යුතුය. එයට හේතුව පසේ අහිතකර දිලීර හේතුවෙන් රෝස දඬු පැල නොවීමටත් පැලවූ පසු රෝස පැළ වල මුල් කුනුවීම බොහෝවිට සිදුවේ. එයට පිළියමක් ලෙස පැළ සිටුවීමට පෙර දියරමය දිලීර නාශක පසට යෙදීම සිදු කරයි. එමෙන්ම රෝස මල් සිටුවීමේදී පසේ පී එච් අගය 6.5-7.5 අතර තිබීම ඉතා සුදුසු අතර පැළ සිටුවන කාලයේදී පසට පොහොර යෙදීම සුදුසු නැත. එමගින් පසේ pea H අගය වෙනස් වීමෙන් අලුතින් සිටවූ රෝස දඬුවල මුල් කුණුවී පැළ මියයාම දැකිය හැකිය.
රෝස පැල ලබාගත හැකි ක්‍රම
රෝස බීජ හෙවත් රෝස ඇට මගින් පැල ලබාගත හැකිය. නමුත් රෝස ඇට හෙවත් බීජ ප්‍රරෝහනයට පෙර හොඳින් මේරූ බීජ තෝරා ගන්න. එමෙන්ම රෝස බීජ ප්‍රරෝහනයට පෙර උෂ්ණත්ව පාලනයක් කිරීමට සිදුවන අතර මේ සඳහා අඩු කෘත්‍රිම උෂ්ණත්ව පරාසයක් භාවිතා කල යුතුය. එලෙස ලබාගත් පැල සති තුනක් පමණ ගිය පසුව වෙන් වෙන්ව සිටුවාගත හැකිය.
රෝස දඬු මඟින්ද පහසුවෙන් රෝපණය කර මල් පැල ලබාගත හැකිය. මෙය ශ්‍රීලංකාවේ බහුල ලෙස භාවිතාවන රෝස රෝපණ ක්‍රමයක් වන අතර මේ සඳහා අඟල් 4-6 අතර ප්‍රශස්ත මට්ටමින් මේරූ දඬු කැබලි යොදාගනී. එහි පසට යටකර සිටුවන කොටස අංශක හතලිස් පහක් පමණ ආනතියකට කපා ගැනීම ඉතා සුදුසු වන අතර එසේ කපාගත් කෙලවර මතට පහසුවෙන් මුල් ඇද්දවීමේ හෝර්මෝන පවුඩර් ආලේපකර එම කෙලවර පසට යටකර සිටුවීම සිදුකල හැකිය. මෙය බීජ රෝපණයට වඩා සාර්ථක ක්‍රමයක් ලෙස හඳුන්වාදිය හැකිය.
රෝස පැළ ලබාගැනීම පටක රෝපණය තුලින්ද සිදු කල හැකි අතර මේ සඳහා හොඳ පලපුරුද්දක් මෙන්ම විද්‍යාගාර පහසුකම්ද අවශ්‍ය වේ.
පොහොර යෙදීම
රෝස දඬු ප්‍රරෝහනයවී මාසයකට පමණ පසු රසායනික පොහොර යෙදීම ආරම්භ කිරීම සුදුසු අතර මුල් කාලයේදී නයිට්‍රජන්වැඩි තරමක් අඩුවෙන් අවශෝෂණය කරන පොහොරක් යොදාගත හැකිය. මේ සඳහා නිල්කැට පොහොර වැනි පොහොරක් සුදුසු අතර යූරියා පොහොර සුදුසු නොවේ. එයට හේතුව යූරියා යම් හෙයකින් වැඩි වුවහොත් රෝස පැලවල මුල් කුනුවී පැල මියයාම සිදුවේ. එමෙන්ම රෝසමල් සඳහා ගොම පොහොර සුදුසු නැත. එයට හේතුව වියලි ගොම මත දිලීර වර්ධනය වීමේ අවදානම ඉතා ඉහළ අතර එමනිසා ශාකයේ මුල් ආසාදනය වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි. ගොම පොහොර යොදන්නේනම් යෙදීමට පෙර කැප්ටාන් වැනි දිලීර නාශක ස්ප්‍රේ කිරීම අනිවාර්යයෙන් කල යුතුය. පොහොට්ටු ක්‍රමයෙන් හටගන්නා කාලයේදී පසට අඩුවෙන් අවශෝෂණය කරන පොටෑසියම් අධික පොහොරක් යෙදීම සුදුසුයි. එමඟින් වැඩි මල් අස්වැන්නක් ලබාගත හැකිය. මේ සඳහා දම්කැට පොහොර හෝ යාරමිලා පොහොර යොදාගත හැකියි.
රෝස කප්පාදු කිරීම
සමහර අවස්ථාවල රෝස ශාකය සරුවට වර්ධනය වී තිබුනත් මල් හට නොගනී එයට හේතුව අධික ලෙස පසට නයිට්‍රජන් සහ පොස්පරස් අඩංගු පොහොර යෙදීමයි. මෙහිදී රෝස අතු කෙලවර හෙවත් අග්‍රස්ථය පමණ ඉක්මවා පරිණත වීම හෙවත් මේරීම සිදුවේ. එමනිසා මල් පොහොට්ටු ඇතිවීම අවම වේ. මෙවැනි අවස්ථාවල ශාකයේ අගිසි අතු කප්පාදු කර ශාක පත්‍ර මතට K forty හෝ K fortifour වැනි පොටෑසියම් අධික පත්‍ර සහ මුල් මගින් අවශෝෂණය වන රසායනිකයක් ස්ප්‍රේ කිරීම සුදුසුයි.
රෝස වගාවේ රෝග සහ ගැටළු
පත්‍ර කහපාට වීම
පත්‍ර කහපාට වීම රෝස පැලවල සහ පරිණත රෝස ශාක පත්‍ර තුළ නයිට්‍රජන් මූලද්‍රව්‍ය උනතාවය නිසා සිදුවන අතර මේ සඳහා නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි පොහොරක් භාවිතා කල හැකිය. එමඟින් පත්‍ර කහපාට වීම අවම වේ.
පත්‍ර අනවශ්‍ය ගනකමකින් යුක්ත වීම
මෙය සින්ක් ඌනතාවය නිසා සිදුවේ. මේ සඳහා අංශු මාත්‍ර මුලද්‍රව්‍ය අඩංගු පොහොරක් භාවිතා කල හැකිය.
ශාක පත්‍ර තුළ රතු දම් වර්ණ ලප මතුවීම
මෙය පොස්පරස් ඌනතාවයක් නිසා දක්නට ලැබෙන අතර පොස්පරස් අධික Pea fifty two වැනි පොස්පරස් අධික රසායනිකයක් ශාක පත්‍ර වලට ස්ප්‍රේ කිරිම මඟින් අවමකල හැකිය.
අග්‍රස්ථය මියයාම හෙවත් දල්ල කුණුවීම.
මෙය බොහෝවිට කැල්සියම් ඌනතාවයක් නිසා හටගන්නා රෝග තත්ත්වයක් වන අතර අංශුමාත්‍ර මූලද්‍රව්‍ය අඩංගු පොහොරක් පසට යෙදීම මගින් මෙම තත්ත්වය අවම කල හැකිය.
මල් ඉක්මනින් පරවීම සහ පොහොට්ටු කුණුවීම
මෙය පොටෑසියම් සහ මැග්නීසියම් වැනි මූලද්‍රව්‍ය වල හිඟය නිසා ඇතිවේ. අංශුමාත්‍ර මූලද්‍රව්‍ය අඩංගු එමෙන්ම පොටෑසියම් අධික පොහොරක් යෙදීම මඟින් අවම කල හැකිය.
පත්‍ර මත කළු පුල්ලි ඇතිවීම.
මෙම තත්ත්වය බොහෝවිට පත්‍ර මතුපිට හටගන්නා දිලීර රෝගයක් නිසා ඇතිවන අතර ආගන්තුක කෘමීන් මඟින් මෙම රෝගය ව්‍යාප්ත වේ. මේ සඳහා සුදුසු දිලීර නාශක යෙදීම සිදුකල හැකිය.
පත්‍ර මත සිදුරු ඇතිවීම
මෙය බොහෝවිට කෘමි හානි නිසා සිදුවේ. දිමියන් සහ කුඩිත්තන් වැනි සතුන් විසින් රෝස ශාකයේ පත්‍ර සපා කෑම සහ පත්‍ර වල යුෂ උරාගැනීම නිසා පත්‍ර සිදුරු ඇතිවීම සිදුවේ. මේ සඳහා සුදුසු කෘමි නාශකයක් ශාක පත්‍ර වලට ස්ප්‍රේ කිරීම සිදුකල හැකිය.
Article: Rosa Mal Wagawa
©YouTube.com/GewathuWagawa
